.
ලංකාවේ ඉතාමත් සුවිශේෂි මෙන්ම අද්විතීය පාරිසරික කලාපයක් වන හොර්ටන් තැන්නට ප්‍රධාන ප්‍රවේශ මාර්ග දෙකක් ඇත. ඒ නුවරඑළිය සිට අඹේවගම හරහා හෝ පට්ටිපොළ හරහා වන මාර්ගය සහ හපුතලේ සිට ඔහිය හරහා වන මාර්ගයයි . ඊට අමතරව තවත් මාර්ග කිහිපයකින් හෝර්ටන් තැන්නට පිවිසිය හැක . එසේ තිබියදී බලංගොඩ නැග්‍රැක් මාර්ගයද විවෘතකර හෝර්ටන් තැන්නට ප්‍රවේශවීමට ඉඩ ලබාදෙන්නැයි මේවන විට ඉල්ලීමක් පවතී.

මේ ඉල්ලීමට මුල්වී සිටිනුයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවයි . ඔවුන් විසින් බලංගොඩ නන්පේරියල් වතුයාය හරහා නැග්‍රැක් දක්වා වාහන ගමන් මාර්ගයක් සකස් කර, එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්නට පිවිසීමට නව ප්‍රවේශ මාර්ගයක් ඉල්ලා සිටී . මේ ඉල්ලිමේ අරමුණ තම බදු ආදායම වැඩිකර ගැනීමය. ඊට අමතරව මෙම මාර්ගය ආසන්නයේ හෝටල් ඉදිකිරිමට මාන බලමින් සිටිනා ව්‍යාපාරිකයෝද මෙම මාර්ගය ලබාගන්නට විවිධ උත්සහය දරති .
හෝර්ටන් තැන්න යනු ශ්‍රී ලංකාවේ වඩාත් සංවේදී පරිසර කළාප කිහිපයෙන් එකකි. දෙස් විදෙස් විනෝදකාමී සංචාරකයන් එක සේ හෝර්ටන් තැන්නට පිවිසීමට කැමති වුවද මේ සුවිශේෂි පරිසර පද්ධතියට දරාගත සංචාරකයන්ගේ හැකි සීමාවක් තිබේ. විශේෂයෙන්ම නුවරඑළිය වසන්ත සමයේ එහි යන විනෝදකාමීහු බෝනස් වාසියක් සේ සලකා හෝර්ටන් තැන්නට යති. එම සමයේ හෝරටන් තැන්නේ වාහන පෝළිම කිලෝමිටර් ගණනකි. නරඹන්නන් සංඛ්‍යාව දහස් ගනනකි. ඊට හොඳම උදහාරණය පසුගිය නෙළු වසන්තයේදී දැක ගත හැකිවිය. අතුරු සිදුරු නැතිව පිරීගිය නරඹන්නෝ හෝර්ටන් තැන්නේ පාරිසරික වැදගත්කම එළිපිට කෙළෙසා සමාජ මාධ්‍යයේ ඡායාරූප උඩුගත කරමින් සතුටු වූහ.
හෝර්ටන් තැන්න බිහිවනුයේ වසර මිලියන ගණනක පාරිසරික විපර්යාසයක ප්‍රතිඵලයක් ලෙසය. අදටත් එහි ඇති තෘණ පළස ඇතැම් තැන්හී ඉතා තුනී ස්ථරයක් ගනී. වැස්සෙන් සහ සුළගෙන් පවා හෝර්ටහ් තැන්නේ තුනී පාංශු ස්ථරය නිති ඛාදනයට ලක්වේ. එවන් තැනකට දහස් ගණනක් මිනිසුන්ගේ පිය සටහන් පවා ගෙන එන්නේ අමතර බරකි. එහෙයින් දැන් කළ යුත්තේ හෝර්ටන් තැන්නට අමතර පාරක් ලබාදීම නොව පවතින මාර්ග ඔස්සේ ඇතුළු වීම සීමාකිරීමය .
ලෝකයේ බොහෝ රටවල් සිය සංවේදී පරිසර පද්ධති රැකගන්නට ඒවාට ඇතුළු වීම සීමාකර ඇත. ඊට දිය හැකි හොඳම විසඳුම ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර මාර්ග ගත ක්‍රමයට පමණක් ලබාදීමය. එමගින් දිනකට ඇතුළුවන පිරිස සීමාකළ හැකි අතර, අනවශ්‍ය සංචාරකයන් අධෛර්ය වීම සිදුවෙයි . අද සිදුවන්නේ නුවරඑළියට හෝ හපුතලේට යන නිසා හෝර්ටන් තැන්න බලන්නට යන තැනට ඇතැමුන් පත්ව සිටීමයි.
විනෝදවීම සඳහා ලංකාවේ ඕනැ තැරම් තැන් ඇත. උණවටුන සහ පොල්හේන මුහුදු තීර, ගාළුමුවදොර වැනි ස්ථාන විනෝදාස්වාදය සඳහාම වෙන්වුන තැන් ය. එහෙති සංවේදී පරිසර කලාපයක් වූ හෝර්ටන් තැන්න වූ කළී විනෝදාස්වාදයට ලඝුකළ හැක්කක් නොවේ . එය මිනිස් ඉතිහාසයේ රහස් රැසක් සඟවාගත් ස්ථානයකි. ආවේනික සත්තව විශේෂ ගණනකට නිවහනය, ප්‍රධාන ජලමූලාශ්‍ර ගණනක් ආරක්ෂා කරනා වටිනා බිමකි. එහි ඇති ඇතැම් ශාක ඊටම අනන්‍යය. මෙවැනි සංවේදී කළාපයකට ගෙදර යන ගමන් විනෝදවීමට යන සංචාරකයන් ගෙන එන්නේ බලවත් ගැටළු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
යෝජිත බලංගොඩ නැග්‍රැක් මාර්ගය ලබාදුනහොත් දැනට එන මහ පිරිසට අමතරව තවත් විශාල පිරිසක් හෝර්ටන් තැන්නට ඇතුල් වෙනු ඇත. ඒ අයගේ අවශ්‍යතා සපුරන්නට අළුතින් හෝටල් බිහිවනු ඇත. මහා පිරිසකගේ පැමිණීම හමුවේ දැනටත් වික්ෂිප්තව සිටිනා හෝටන් තැන්න අනාගතයේ හෝටල් තැන්නක් වීම මෙහි අවසාන ප්‍රතිඵලය වෙයි .