මුහුදක් ලඟ නැති රත්නපුරේට සුළගේ ගසාගෙන ආ මුහුදු කුරුල්ලා .

මුහුදක් ලඟ නැති රත්නපුරේට සුළගේ ගසාගෙන ආ මුහුදු කුරුල්ලා .

 

සාගරයේ වෙසෙන දුලබ මුහුදු කුරුල්ලෙක් වන සුදුපිට කැඩැත්තා (White-tailed Tropicbird) රත්නපුරයෙන් හමුවීමේ දුලබ සිදුවීමක් සමාජ මාධ්‍යයේ වාර්තා වෙයි .

 මෙම පක්ෂියා නිවර්තන කළාපීය විවෘත සාගර පරිසරයන්ගේ වාර්තා වෙන අතර සුවැදි සමයන් අවසානයේ බිත්තර දැමීම සහ පැටවුන් බෝ කිරීම සඳහා පමණක් සාගර දූපත් වෙත පැමිණෙති. එවන් පක්ෂියෙක් රට මැද සඹරගමුවේ රත්නපුරයෙන් වාර්තාවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව පක්ෂී චර්යා  පිළිබඳ ප්‍රාමාණුකයෝ පෙන්වා දෙති . 

පසුගිය දින කිහිපයේ පැවැති ඡණ්ඩ මාරුත සහිත කාලගුණයත් හේතුවෙන් විවෘත සාගරයේ ජීවත්වන මෙම පක්ෂියෙක් රත්නපුර, ගොළුවාවිල ප්‍රදේශයට අනපේක්ෂිත ලෙස ගසාගෙන එන්නට ඇතැයි ඕවුහු පවසති . මෙම පක්ෂියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වීම පිළිබඳව අදහස් දක්වන පක්ෂිවේදී මොදිත හිරණ්‍ය කොඩිකාරච්චි සඳහන් කරන්නේ, මොවුන් ශ්‍රී ලංකාවට අලුතින් පැමිණෙන දුර්ලභ අමුත්තන් වන අතර, දකුණු වෙරළබඩ ප්‍රදේශවලදී ද කලාතුරකින් දක්නට ලැබෙන බවයි.


තද සුළඟ හේතුවෙන් මෙම පක්ෂියා තම සාගර වාසස්ථානයෙන් මිදී ගොඩබිම අභ්‍යන්තරයට ගසාගෙන එන්නට ඇති බව විශ්වාස කෙරේ. සුදු පැහැති සිරුර, තටුවල ඇති කළු සලකුණු, කහ පැහැති හොට සහ දිගු සුදු පැහැති වල්ගය මෙම පක්ෂියාගේ විශේෂ ලක්ෂණ වේ. ‘Phaethon lepturus’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුහු මාලදිවයින වැනි නිවර්තන දූපත්වල බිජුලන අතර, මසුන් සහ දැල්ලන් ආහාරයට ගනිමින් විවෘත සාගරයේ ජීවත් වෙති.

දේශගුණික විපර්යාස සහ නිතර ඇතිවන දැඩි කුණාටු සහිත කාලගුණය මෙවැනි මුහුදු පක්ෂීන්ට දැඩි තර්ජනයක් වී ඇත. සමුද්‍ර උෂ්ණත්වය ඉහළ යාම නිසා ආහාර සොයා ගැනීමට දුර බැහැර යාමට සිදුවීම, සුළං රටා වෙනස් වීම සහ කුණාටු නිසා වාසස්ථාන අහිමි වී මෙලෙස ගොඩබිමට ගසාගෙන ඒම වැනි අභියෝගවලට මොවුහු මුහුණදෙති.

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.