ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සංචාරකයන්ට විවෘත වේ.

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සංචාරකයන්ට විවෘත වේ.

 

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යනය මෙම මස 15 වනදා සිට මහජනයාට විවෘත කිරීමට නියමිත බ්ව වාර්තා වේ . 

ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය වනජීවී ජාතික උද්‍යානය වන මෙහි සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් මෙන්ම සිවිශේෂී සාගර ආශ්‍රිත පරිසර පද්ධතියක් ද දැකගත හැකි වීම විශේෂයකි . මුහුදු ඌරන්, ඩොල්පින් මසුන් සහ කැස්බැ විශේෂ කිහිපයක් මෙම උද්‍යානය අශ්‍රයෙන් දැක ගත හැකි අතර, නොගැඹුරු දියේ මුහුදු තෘණ විශේෂද නිරීක්ෂණය කළ  හැකි වෙයි . 

මෙම නොගැඹුරු සාගර කළාපයේ දැකගත හැකි වැලිපර සංචාරකයන් ගේ නොමද ආකර්ශනය දිනාගනී . වැලිපර ආශ්‍රිතව පක්ෂින් සහ සුවිශේෂි සමුද්‍රීය පරිසර පද්ධති රැසක් දැකගත හැකි අතර මෙවැනි ස්ථාන ලෝකයටම ඇත්තේ ඉතා සීමිත ගනනකි .

ආදම්ගේ පාලමට වැලිපර 16 ක් අයත් වන අතර, ඉන් 8 ක් ශ්‍රී ලංකාවටත්, අනෙක් 8 ඉන්දියාවටත් අයත් වේ. ආදම්ගේ පාලම සමුද්‍රීය උද්‍යානයට එන සංචාරකයන්ට ඉන් වැලිපර 5 ක් දක්වා නැරඹීමට අවස්ථාව ලැබේ.

පළමු වැලිපරයේදී සංචාරකයන්ට බෝට්ටුවෙන් බැස, පිහිනීමට සහ අනුමත කිමිදුම් ක්‍රියාකාරකම්වල නිරත වීමට අවසර ලැබේ. තුන්වන වැලිපරයේදී ද සංචාරකයන්ට බැස, ඇවිදීමට, විවේකයෙන් කාලය ගත කිරීමට සහ ආදම්ගේ පාලමේ ස්වභාවික සුන්දරත්වය අත්විඳීමට අවස්ථාව හිමි වේ. ආදම්ගේ පාලම, හින්දු ආගමික විශ්වාසයන් තුළ රාම සෙතු ලෙසද විශේෂ වැදගත්කමක් දරන ස්ථානයකි. තලෙයිමන්නාරම සිට ඉන්දියාව දෙසට විහිදී ඇති .

සංචාරකයන් සඳහා බෝට්ටු පහසුකම් සපයනු ලබන අතර, එක් බෝට්ටුවකට පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කළ හැක. එක් පුද්ගලයෙකු සඳහා බෝට්ටු ගාස්තුව රු. 2,500ක් වන අතර, සම්පූර්ණ බෝට්ටු ගාස්තුව රු. 17,500කි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රු. 150 ක ප්‍රවේශ ගාස්තුවක්ද අය කරනු ලැබේ.

කෙසේ වෙතත්, ආදම්ගේ පාලම ඉතා සංවේදී සමුද්‍රීය පරිසරයක් බැවින්, මෙම ප්‍රදේශය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි නිරීක්ෂණ සහ කළමනාකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත්, සංචාරක ඇතුළුවීම් යම් මට්ටමකට සීමාකිරීම මෙන්ම බෝට්ටු ගමනාගමනය,  අපද්‍රව්‍ය බැහැර කිරීම, පිහිනීම සහ කිමිදීම ඇතූළු මානව ක්‍රියකාරකම් දැඩිව නියාමනය කිරීමේ අවශ්‍යතාවයද පරිසර වේදීහු පෙන්වා දෙති .  විශේෂයෙන්ම පක්ෂී පර්යටන සමයේදී ඇතැම් වැලිපරයන්හී පක්ෂීන් නවාතැන් ගන්නා බැවින් එම සමයෙදී සංචාරක ක්‍රියාකාරම් දැඩි නියාමනයට ලක්විය යුතු බව ඕවුහු අවධාරණය කරති .
 
මන්නාරම ශ්‍රී ලංකාවේ උණුසුම්ම ප්‍රදේශ අතරින් එකක් වන අතර, එය දැඩි සුළං සහිත ප්‍රදේශයක් ලෙසද ප්‍රසිද්ධය. එබැවින් මෙම සංචාරයට යන අය ප්‍රමාණවත් පානීය ජලය, හිරු ආරක්ෂණ උපකරණ, සුදුසු ඇඳුම් සහ ආරක්ෂිත සූදානම් වීමක් සමඟ යාම වැදගත්ය. විශේෂයෙන්ම මෙහි ඇතුළුවීම මුළුමනින්ම මාර්ග ගත ක්‍රමයට ලබාගන්නා ප්‍රවේශ පත්‍ර සඳහා සීමා කරන්නේනම් එමගින් අනවශ්‍ය සංචාරකයන් අධෛර්‍ය කළ හැකි බවත් , ඇතුළු වීම සීමාකළ හැකිවනු ඇති බවත් පරිසරවේදීහු පෙන්වා දෙති .

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය විවෘත කිරීම මන්නාරම සංචාරක ක්ෂේත්‍රයට නව වටිනාකමක් එක් කරන අවස්ථාවකි. 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.