ශ්‍රී ලංකාවේ ලොකුම විලෝපිතයා වන්නේ කොටියාය . Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අපේ රටට ආවේණික උප විශේෂයක්වන ලංකාවේ කොටියා අලියාට අමතරව ලංකාවේ වඩාත් ආකර්ශණය දිනාගත් වන ජීවියා බව නොරහසකි . යාල විපත්තු සහ හෝර්ටන් තැන්න වැනි ප්‍රදේශවල සුලබව වාර්තාවන කොටියා ලංකාවේ මහ බිලාලයාද වන්නේය .
විද්‍යාත්මක විශ්ලෙශණයන්ට අනුව ලෝකය පුරා වාර්තාවන කොටි විශේෂ ගනණ නමයකි . අමූර් කොටියා, ජාවා කොටියා, අප්‍රිකානු කොටියා, ඉන්දියානු කොටියා, උතුරු චීන කොටියා, ශ්‍රී ලංකා කොටියා, ඉන්දුනීසියානු කොටියා,පර්සියානු කොටියා, අරාබි කොටියා එම විශේෂ වෙයි. ඒ අතරින් අමූර් කොටියා සහ උතුරු චීන කොටියාගේ ජානමය සමාන කම් අනුව එම දෙකොටසක එක විශේෂයක්ද යන්න කලක සිට සාකච්චාවට බඳුන් විය. උතුරු චීන කොටියා වෙනම උප විශේෂයක් ලෙස වරක් හඳුනාගෙන තිබුනමුත් බොහෝ ජාන පර්යේෂණවලින් පසුව 2017 දී ඔවුන් අමූර් කොටි ලෙස නැවත වර්ග කිරීමට තීරණය විය. ඒ අනුව කලින් නමයක්ව පැවති කොටි උප විශේෂ ගණන 8 දක්වා අඩු විය.
ලෝකයේ කොටි උපවිශේෂ ගනන ජාන විද්‍යා විශ්ලේෂණ මගින් එකකින් අඩු වෙද්දී ලංකාවේ කොටි ගහනය මාසයකට දහයකින් විස්සකින් පහත වැටීමට හේතු වී ඇත්තේ අනවසරයෙන් අටවන කේබල් මදුය . මෙකී කේබල් මදු අටවන්නෝ එසේ කරන්නේ වල් ඌරන් ප්‍රමුඛ වන සතුන් දඩයමටය . එහෙත් අවාසනාවට මෙකි මදුවල පැටලී විපතට පත්වන්නන් අතරට සංරක්ෂිත වනජිවියෙක් වන කොටියාද එක්ව සිටී .
යාල, විල්පත්තුව, වැනි වනෝද්‍යාන ආශ්‍රිතවද කොටි වාර්තාවන මුත් මදුවල පැටලිම සහ මිනිසුන් සමග ගැටීම් සුලබව වාර්තාවනුයේ ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතවය. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන කොටි කඳුකර කොටි ලෙස ඇතමුන් හැඳින්වූවද එය සාවධ්‍ය හැඳින්වීමකි . ශ්‍රි ලංකාවේ වාර්තාවන්නේ එකම එක කොටි විශේෂයක් වන අතර Panthera pardus kotiya යනුවෙන් හැඳින්වෙන්නේ එම ආවේණික උප විශේෂයයි.
වතුවගාව උදෙසා විශාල වන බිම් ප්‍රමාණයක් නිරාවරණය වූ මධ්‍යම කඳුකරයේ ගිනිගත්හේන, නාවලපිටිය, හැටන්, තලවාකැලේ වැනි ප්‍රදේශ කොටි පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වේ . ගෘහාශ්‍රිත බල්ලන් ගවයන් වැනි සතුන් ගොදුරු කරගැනීම, මිනිස් ජනාවාස වලට පැමිණීම මෙන්ම කේබල් මදුවල පැටලීම වැනි කොටින් ගේ ක්‍රියාකාරකම් කඳුකර පළාත්වල සුලබය .

කොටි පමණක් නොව ලංකාවේ වන සතුන් වෙනුවෙන් බොහෝ දුක් ගන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවි පශු වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල බව රහසක් නොවේ . දිවා රෑ නොබලා අව්වැසි නොතකා වනාන්තරතුළට වැදී රෝගී සතුන් හඹා යමින් උන්ට ප්‍රතිකාර කරනා වනජීවී පශුවෛද්‍යවරු ඉටුකරනුයේ සැබැවින්ම අසීරු මෙහෙයකි . එවන් වනජීවී පශුවෛද්‍යවරුන් නිරන්තරයෙන් ජීවිත අවධානමට මුහුන දෙමින් එය නොතකා කටයුතු කරයි . එවන් වනජීවී පශු වෛද්‍යවරයෙක් මුහුණ දුන් සිදුවීමක් පිළිබඳව පසුගියදා මාධ්‍ය ඔස්සේ වාර්තා විය .
වනජීවී දෙපාර්තමේන්තුවේ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට අනුයුක්තව සේවය කරනා වනජීවී පශුවෛද්‍ය අකලංක පිනිදෙණිය ඉකුත් සතියේ එවන් කොටි මෙහෙයුමකට සම්බන්ධ වූ අයෙකි.
පසුගියදා නාවලපිටිය රොජසන්ගම ප්‍රදේශයෙ නිවසක් අසල ලදු කැලෑවක මන්දකට කොටියෙක් හසුවී සිටිනා බවට රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය ඒකකයට වාර්තා විය . කේබල් මදුවලට අසුවෙන කොටි ඒවායෙන් බේරීමට ගන්නා උත්සහයේදී තව දුරටත් එම මදුවල සිරවෙන අතර එනිසා අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට සිදුවන හානි හේතුවෙන් මරණය සිදු වෙයි . මේ බව දත් වනජීවී පශුවෛද්‍ය අකලංක පිනිදෙණිය ඇතුළු පිරිස වහා එහි ගියේ එම කොටියා බේරාගැනීමේ දැඩි අදිටනිනි .
මන්දට හසු වී සිටි කොටියා නිරීක්ෂණය කළ පශු වෛද්‍යවරයා ඌ නිර්වින්දනය කර මුදා ගැනීමට තීරණය කළේය . ඒ අනුව ඊට අවශ්‍ය සියළු දේ සූදානම් කළ පිරිස කොටි මෙහෙයුමට සුදානම් විය . කොටියා නිර්වින්දනය කිරීමට ඌ සමීපයට ගිය පශු වෛද්‍ය අකලංක පිනිදෙණියට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමටය .
වෛද්‍යවරයා කොටියා සමිපයට ගොස් නිර්වින්දනය කිරීමට සූදනම් වත්ම මද්දෙන් මිදුන කොටියා එකවරම වෛද්‍යවරයා දෙසට පැන පහරදී, පසුව කැළයට පැනගොස් ඇත. මෙම අනපේක්ෂිත කොටි ප්‍රහාරයෙන් පශු වෛද්‍යවරයා සුළු තුවාල සිදු විය . හොඳින් වැඩුන සතෙක් වූ මෙම කොටියාට මද්දට සිරවීමෙන් බරපතල තුවාල සිදුව නොතිබූ බව වෛද්‍යවරයා පසුව සඳහන් කර ඇත . කොටියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවත්, වෛද්‍යවරයාටද පහර දී සැනින් වනනතරයට පලායාමට ශක්තියක් ඌට තිබූ බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබේ. තමාට සිදුවූ පහර දීම අමතක කර කොටියා ගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන සතුටට පත්ව සිටිනා ඔහු පෙන්වන්නේ සතෙකුගේ ජීවිතය වනජීවී පශු වෛද්‍යවරයෙකුට කෙතරම් වටින්නේද යන්නයි .