අලි මංකඩක් හරස්කර අම්පාරේ වී මෝලක් හදන්නට යයි .

අලි මංකඩක් හරස්කර අම්පාරේ වී මෝලක් හදන්නට යයි .

 


වර්තමාන රජය බලයට පැමිණියේ සෑම ප්‍රශ්ණයකටම විද්‍යාත්මක විසඳුම් දෙන්නට පොරොන්දු වී බව අපට මතකය . එහෙයින් මිනිසුන් සහ අලි අතර ඇතිව තිබෙනා සෝචනීය ගැටුමටද විද්‍යාත්මක විසඳුමක් ලබාදෙතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු විය . මේ රජය බලයට එන විටත් හස්ති චර්යා ප්‍රාමාණිකයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සකස් කර තිබූ මිනිස් - අලි ගැටුම වැලකිමේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැගීම ආරම්භව තිබූ බැවින් බොහෝ දෙනෙකු තුළ සුබවාදී බලාපොරොත්තු ඇතිවෙමින් තිබුනි. එහෙත් වත්මන් රජයද මිනිස් - අලි ගැටුම මඩින්නට අත තැබුවේ 1950 දශකයේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කර අසාර්ථක වූ අලි එළවීම් සමගිනි. 

ඒ සමගම විද්‍යාත්මක විසඳුම් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටුන අතර දිනකට එකා දෙන්නා ගානේ අලි මරණ රට පුරා වාර්තා වන්නට විය . එසේ තිබියදී එවකට ක්‍රියත්මක වෙමින් පැවතුන මිනිසුන් විසින් අත්පත් කරගෙන සිටි අලිමංකඩ නැවත නිදහස් කිරීමේ වැඩපිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක කිරීමට රජය සූදනම් බව ප්‍රකාශ විය . මිනිස් අලි ගැටුමට ප්‍රායෝගික හා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙතෙක් අවහිර වී තිබූ ප්‍රධාන අලිමංකඩවල් (Elephant Corridors) තුනක් වන අලින්ගේ නිදහස් සැරිසැරීම වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි  පැවසීය .

ඒ අනුව , හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැටහිරකන්ද සහ හඳපානාගල අලිමංකඩවල් දෙක සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කොහොලංකල අලිමංකඩත් වන අලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග ලෙස නැවත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව වනජීවී අමාත්‍යවරයා පැවසීය . එහෙත් ඉකුත් සතියේ අම්පාරෙන් වාර්තා වූයේ ඊට ඉඳුරාම වෙනස් පුවතකි. ඒ මිනිසුන් වීසින් අත්පත් කරගෙන සිටිනා අලිමංකඩ නිදහස් කරන්නට පොරොන්දු දුන් ආණ්ඩුව තුන්සියයකට ආසන්න අලි ඇතුන් රංචුවක් විසින් දැනටමත් භාවිත කරනා අලි මංකඩක් වී මෝලක් ඉදිකිරීමට පවරා දීමේ කණගාටු දායක පුවතය. 

වී මෝල ඉදිකිරීමට යෝජිත භූමිය යුධ සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරා දුන් එකකි. අදටත් එහි අලි ඇතුනට අමතරව මුවන්, වල් ඌරන් ඇතුළු වන සතුන් නිතර ගැවසෙන බව ප්‍රදේශවාසීහු පවසති . ඊට අමතරව ගල්ඔය අභය භූමියේ සිටිනා අලි ඇතුන් බුද්ධංගල අභය භූමියට යන්නේ වී මෝල හදන්නට යෝජිත බිම හරහාය . අලි ඇතුන් කොහොමටත් වී ආහාරයට ගැනීමට ප්‍රිය කරති . ගම් වදිනා අලි බොහෝ විට නිවාස වලට පහර දෙන්නේ වී කෑමට බව නොරහසකි . එබැවින් විශාල අලි රංචුව නිතර ගමන් කරනා මාර්ගයක් හරස් කර වී මෝලක් සෑදීම මගින් නැති  මිනිස් - අලි ගැටුමක් නිර්මාණය වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.  

මේ ආකාරයෙන් වී මෝලක් ඉදිකරන්නට යන්නේ අම්පාර සිට උහන දක්වා ඇති මාර්ගයේ කරංගාව ගම්මානයෙන් ආරම්භ වී සමනබැද්ද දක්වා දිවෙන්නේ වසර සිය ගණනක් පැරණි ප්‍රධාන අලි මංකඩක් හරස් කරමිනි . නැගෙනහිර පළාතේ වී වගාව සරුවට කෙරෙනා කල්මුණේ සහ සමන්තුරේ ප්‍රදේශවල වී අස්වැන්න නෙළීමෙන් පසු නිරි කෑම සඳහා ( අස්වැන්න නෙළිමෙන් පසු ඉතිරිවන ඉපැනැල්ල සහ නැවත වැවෙනා ලපටි පැලෑටි) වසරකට දෙවතාවක් වනඅලින් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගය ඔස්සේ බුද්ධංගල අභයභූමියට පැමිණෙති. මේ වූ කලී වසර සිය ගනනක් පුරා වල් අලි සාම්ප්‍රදායකව ගමන් ගත් මාර්ගයකි . එවන් මාර්ගයක් වෙනස් කිරීමට එම සතුන් කැමති නොවනා අතර ඊට ප්‍රතිචාර දක්වීමද අනිවාර්යයෙන් සිදුකරති . අලි මංකඩක වී මෝල් හඳන්නට යෝජනා කරනා පාර්ශව මේ කරුණු අමතක කිරීම සබැවින්ම කනගාටු දායකය .

මෙම අලි මංකඩෙන් අක්කර 80 ක භූමි භාගයක දැවැන්ත වී මෝලක් ඉදිකිරීමට යාමෙන් අලි ඇතුන් සිය සංක්‍රමනය සඳහා වෙනත් ස්ථානයක් තෝරාගැනීමට ඉඩ ඇත . එනිසා  අම්පාර උහන වැනි මාර්ග භාවිත කරනා පාසල් සිසුන් ප්‍රමුඛ ජනතාව අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව පෙනෙන්නට තිබේ. අලි මංකඩ අවහිර හරස්කර වී මෝලක් ඉදිකිරීම හේතුවෙන් අලි රංචු ගම්මාන ඔස්සේ ගමන් කිරීමට උත්සහ ගැනීමෙන් කරංගාව, සමනබැද්ද, දෙමටමල්පැලැස්ස සහ උහන  තිස්සපුර වැනි ගම්මාන දඩි සේ අලි තර්ජනයට ලක්වනු ඇත . දැනටත් අම්පාර උහන මාර්ගයේ අලි ඇතුන් නිතර හමුවෙයි . එමෙන්ම අලි පහරදීම් නිසා සිදු වූ ජීවිතහානිද අවස්ථා ගනනවකදී වාර්තා වී ඇත. 

සැන්දෑ අඳුර සමග සේවය නිමවී නිවෙස් බලායන ජනතාවට සහ උපකාරක පන්ති නිමවී එන පාසල් දරුවන්ට මෙය මරණීය තර්ජනයක් වනු ඇත. ඊට අමතරව වි මෝල ඉදිකරනා සේවකයන් සහ පසුව එහි    එන පිරිසටද අනවශ්‍ය තර්ජනයකට මුහුන දීමට සිදුවනු ඇත . මෙම බිම ගුවන් හමුදාව සතු අධි ආරක්ෂිත කළාපයකි . එවන් භූමියක වී මෝලක් සෑඳීම මගින් ගුවන් හමුදාවට බාධාවක් මෙන්ම ජාතික ආරක්ෂාවටද ඉන් ගැටළු මතුවිය හැක .

මෙම යෝජනාවට ගල්ඔය වම් ඉවුර සහ දකුණු ඉවුරේ ගොවි නායකයින්, ප්‍රදේශවාසීන් මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයන්ද මේ වන විටත් විරෝධය පලකර සිටිති . එහෙත් ප්‍රදේශවාසීන් පවසනුයේ ඉඩම ලබා දීමට දනටමත් විෂය බාර අමාත්‍යවරයා එකඟව ඇතිබවයි .

 2012 වසරේ දැයට කිරුළ වැඩසටහන යටතේ මෙම ස්ථානයේ වී ගබඩාවක් ඉදිකිරීමට ගත් උත්සහයට දැඩි විරෝධය පලවිය . එකී විරෝධයේ මුල් පෙලේ කටයුතු කළේ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු කණ්ඩායමකි . එදා වී ගබඩාවක් ඉදිකරනවාට ඔවුන් විරෝධය පලකළේ මෙම ප්‍රදේශය අලි මංකඩක් බව කියමිනි . එහෙත් අද ඒ පිරිසම  අලි මංකඩ හරස්කර කිසිදු පැකිලීමකින් තොරව වී මෝලක් ඉදිකරන්නට ඉදිරිපත් වී ඇත . මේ කථාව කියාපාන්නේ බලය සමග මිනිසුන්ගේ සිදුවන වෙනස් වීමේ ප්‍රමානය කෙතරම්ද කියාය. 

 

 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.